12 June 2015

ඔබගේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා සර්වර් විසඳුමක් සොයනා විට ඔබට භාවිතා කළ හැකි වෙනස් විකල්ප කිහිපයක් පිළිබඳව අපි පසුගිය ලිපියෙන් සංක්‍ෂිප්‍තව කතා කළා. මෙම ලිපියෙන් “ෂෙයාඩ් හොස්ටින්” පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ෂෙයාඩ් හොස්ටින් වල වාසි

පසුගිය ලිපියේ අපි සාකච්ඡා කළ ආකාරයට, ලබාගත හැකි සියළුම සර්වර විකල්පයන් අතුරුනි මිල අඩුම වන්නේ ෂෙයාඩ් හොස්ටින් වලයි. එමෙන්ම මෙය වඩාත් ජනප්‍රියම විකල්පයද වනවා.

ඔබ ෂෙයාඩ් හොස්ටින් ගිණුමක් තෝරා ගන්නේ නම්, ඔබට සර්වර නඩත්තු කටයුතු පිළිබඳ වද විය යුතු වන්නේ නැහැ — අන්තර්ජාලයේ දක්නට ලැබෙන නොයෙකුත් ආරක්‍ෂාවට තර්ජනයක් වන දේවල් පිළිබඳව අවධානයෙන් සිටීමට ද, ඒවායින් ආරක්‍ෂා වීමට මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීමට ද ඔබට සිදු වන්නේ නැහැ. ඔබට ඇති එකම කාර්යය වන්නේ ඔබගේ වෙබ් අඩවිය සර්වරයට අප්ලෝඩ් කිරීමත්, එය නිවැරදිව ක්‍රියා කරන බව තහවුරු කර ගැනීමත් පමණයි. සර්වරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම පිළිබඳව ඔබගේ හොස්ටින් සේවා සපයන්නා සොයා බලනු ඇති. ඔබට සර්වර පිළිබඳව ඇති අත්දැකීම් අල්ප නම් මෙය ඉතාමත් ප්‍රයෝජනවත් ය.

ඔබගේ සර්වරයේ වෙබ් අඩවි එකකට වැඩි ගණනක් පවත්වාගෙන යෑමට අදහස් කරන්නේ නම් හැරෙන්නට, ඔබට ඩෙඩිකේටඩ් හෝ වීපීඑස් සර්වරයක් පවත්වාගෙන යෑමේ හැකියාව තිබුනද එක් කුඩා වෙබ් අඩවියක් සඳහා පමණක් නම් එවැනි විශාල සර්වර භාවිතා කිරීම කළ යුතු නැත.

ෂෙයාඩ් හොස්ටින් සේවා සපයන්නන් විසින් ස්‍වයංක්‍රීය බැකප් වැනි අමතර සේවා සපයනු ලැබේ. එම සේවාවන් මගින් සාමාන්‍යයෙන් මාස්පතා, සතිපතා, හා දිනපතා බැකප් ගනු ලැබේ. යම්කිසි දෝෂයක් සිදු වුවහොත් එකී බැකප් භාවිතයෙන් ඔබගේ හොස්ටින් ගිණුම නැවත තිබූ තත්වයට පත් කර ගත හැක.

ෂෙයාඩ් හොස්ටින් ගිණුම් සමග බොහෝ දුරට “cPanel®” වැනි චිත්‍රක මුහුණතක් සහිත කන්ට්‍රෝල් පැනලයක් ලැබේ. මෙය භාවිතයෙන් දත්ත පද්ධති සකස් කිරීම, බැකප් ගැනීම සහ තිබූ තත්වයට පත් කිරීම වැනි බොහෝ දේවල් පහසුවෙන්ම කර ගත හැක. නමුත් ඩෙඩිකේටඩ් සර්වරයක් හෝ වීපීඑස් එකක් භාවිතා කරන්නේ නම් ඔබට එම කාර්යයන් කමාන්ඩ් ලයින් එකක් තුළින් කිරීමට සිදු වනු ඇත. එසේ නැතහොත් ඔබටම යම් කන්ට්‍රෝල් පැනලයක් ඒවා මත ස්ථාපනය කරගැනීමට සිදු වනු ඇත.

අඩු තාක්‍ෂණික දැනුමක් හා හැකියාවත් ඇති පාරිභෝගිකයන් සඳහා බොහෝ ෂෙයාඩි හොස්ටින් සේවා සපයන්නන් අගනා පාරිභෝගික සහයයන් සපයනු ලැබේ. බොහෝ අවස්ථා වල අමතර ගාස්තුවකින් තොරව පවා ඔබට යම් ගැටළුවක් මතු වුවහොත් ඒවා සඳහා සහය සැපයීමට ඔවුන් ඉදිරිපත් වනු ඇත.

ෂෙයාඩ් හොස්ටින් වල අවාසි

ෂෙයාඩ් හොස්ටින් වල ගැටළු බොහෝමයකට මූලික සාධකය වන්නේ ඔබගේ හොස්ටින් ගිණුම තුළ යම් කිසි සංකීර්ණ කටයුත්තක් කිරීමට අවැසි වුවහොත් ෂෙයාඩ් හොස්ටින් ගිණුම් මත එය සිදු කිරීම බොහෝ අපහසු වීමයි. එයට හේතුව ස්‍වභාවයෙන්ම ෂෙයාඩ් හොස්ටින් ගිණුම් මගින් ඔබට සීමා සහිත වෙනස් කම් ප්‍රමාණයක් කිරීමට අවස්ථාව සලසා තිබීමයි. දැඩි වෙනස් කම් කිරීමට ඒවායේ හැකියාවක් නොමැත.

බොහෝ ෂෙයාඩ් හොස්ටින් සේවා සපයන්නන් ඔබගේ හොස්ටින් ගිණුමට SSH හරහා පිවිසීමට අවස්ථාව ලබා දෙයි. එනමුත් ඔබට කිසිදාක තාක්‍ෂණික පරිපාලනමය කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. එම නිසා ඔබට අවශ්‍ය මෘදුකාංග ආදිය ස්ථාපනයට ඉඩ ලැබෙන්නේ නැත. Git වැනි ඇතැම් මෘදුකාංග ඇතැම්විට හොස්ටින් සේවා සපයන්නන් විසින් ස්ථාපනය කර තිබෙනු ඇත. එනමුත් ඒවායේද සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ඇතැම්විට ලබා ගත නොහැකි වනු ඇත.

නිගමනය

අමතර මෘදුකාංග සර්වරයේ ස්ථාපනය කළ යුතු නැති, කුඩා හා මධ්‍යම පරිමාණයේ වෙබ් අඩවි හොස්ට් කිරීම සඳහා ෂෙයාඩ් හොස්ටින් හොඳම විසඳුමකි. ඔබට ඔබගේ සර්වරය කළමනාකරණය කළ නොහැකි නම් හෝ එසේ කිරීමට අවශ්‍ය නැති නම් මෙය ඉතාම හොඳ තෝරාගැනීමකි.

නිර්දේශ

අපගේ ඇතැම් ව්‍යාපෘති හා අපගේ සේවාදායකයන්ගේ ඇතැම් කුඩා වෙබ් අඩවි හොස්ට් කිරීම සඳහා අප විසින් දැන් දීර්ඝ කාලයක් තිස්සේ BlueHost භාවිතා කරමු. ඔවුන්ගේ සේවාව පිළිබඳව අපි ඉතාමත් තෘප්තිමත්ව සිටිමු. ඔබගේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා ඔබ ෂෙයාඩ් හොස්ටින් සේවා සපයන්නෙක් සොයන්නේ නම් BlueHost තෝරා ගන්නට අපි ඔබට නිර්දේශ කරමු.